මග පෑදීම්
මල්ලී කිව්වා වගේ නාන කාමරේ වැඩ පෙබරවාරි අග වෙනකොට ඉවරවුනා. අවශ්ය බඩු භාණ්ඩ හා පුහුණු කුලීකරුවෝ හිඟ නිසා සාමාන්යෙන් මාස තුන හතරක් ගතවෙන මේ වගේ වැඩක් ඉක්මනට කෙරුනේ එපිටවත්තේ මාමගෙ කැපවීමෙන් බව අපි සේරට පිළිගත්තා. එපිටවත්තේ නැන්දා මට කියපු විදිහට වැඩේ හොඳට සම්පූර්ණවීම ගැන අපිටත් වඩා සතුටුවුනේ ඒ මාමා.
“අනේ පුතා… මාමා පහුගිය මාසේ වෙන කිසි දෙයක් ගැන කතා කරේවත් නෑ - කොච්චරවත් ‘අර ගලගෙදර නංගිගෙ ජොබ් එක’ මයි කටේ තිබුනේ… දෙයියන්ගෙ පිහිටෙන් හිටියට වැඩිය දැන් මාමට හොඳයි - හොඳට නින්ද යනවා, හොඳට කනවා බොනවා… ඇඟයි මොලෙයි වෙහෙසන්නෙ නැතුව ඉඳලා පුරුද්දක් නෑ නේ පුතා!”
මීට සතියකට ඉස්සර මම හතරලියද්දේ ගිය වෙලාවක නැන්දා මෙහෙම කිව්වේ. ලඟදී එංගලන්තේ යන්න ලෑස්තිවෙන ලක්ෂ්මන් මල්ලී හම්බවෙන්නත් එක්ක මම ගියේ. එතකොට මාමා ගෙදර නෑ - නුවර ගිහින්.
“අනේ නැන්දා, අපෙම වාසනාවට තමා මාමට මේක බාරගන්න පුළුවන්වුනේ. අම්මා කියන විදිහට මේ කාලේ වැඩක් කරගන්නවා කියන එක ලේසි නෑ”
“ඒක නම් ඇත්ත පුතා… වැලි, ගල්, සිමෙන්ති එහෙම ගන්ට තියෙන අමාරුව! එතකොට පයිප්ප බට එහෙම… හොඳ වෙලාවට මාමා මිනිස්සු අඳුරනවා!”
“ඒක තමා මල්ලිත් කිව්වේ!”
එතකොට කතා කරේ ලක්ෂ්මන් මල්ලී.
“කොහොමද අනුර මල්ලිගෙ විභාගේ එහෙම? තවම රිසල්ට්ස් නෑ නේද?’
“ඔවු ලක්ෂ්මන්… හැබැයි මිනිහා ෆේල් වෙන් පාටක් නෑ. ඒ අස්සේ රස්සාවකුත් හම්බවෙලා මොරටුවේ!”
“නියමයි! අනුර මල්ලී කොහොමටත් වැඩට දක්ෂයා!”
නැන්දත් ඒකට එකඟවුනා.
“ඔවු… පොත පතට විතරක් නෙවෙයි අනික් අතිනුත් දක්ෂයි~ ලොකු පුතා රට ඉන්න කාලේ අනුර පුතා අම්මයි අක්කයි හොඳට බලාගත්තා”
මට බැරි දේ මල්ලී කරපු බව නෑදෑයොත් දන්නවා! මම හෙමින් හෙමින් කතාව ලක්ෂ්මන්ගෙ පිටරට යෑමේ මාතෘකාවට හැරෙව්වා.
……………………………….
මාර්තු හතරවෙනි සෙනසුරාදා තිබුන මීටිම අනික් ඒවට වඩා වෙනස්. සුරාජ්ගෙයි සරත් එගොඩවත්තගෙයි ඉල්ලීම අනුව ඒක කෙරුනේ න්යාය පත්රය කොටස් වශයෙන් බෙදලා. පළමුවෙන්ම කතාකළේ සුරාජ්. අමුත්තෝ කිහිපදෙනෙක් සිටි නිසා කතාව සිද්ධවුනේ ඉංග්රීසියෙන්.
“අපි අපේ අලුත් සාමාජිකයෝ සාදරෙන් පිළිගන්නවා. අර කතාවටත් කියනවා වගේ ‘අපි ඉන්නේ එකම බෝට්ටුවේ’. ඒ නිසා අපි එකට වැඩ කරොත් අපි දැන් වැටිලා ඉන්න කරදරේ වඩා හොඳින් තේරුම් ගන්න පුළුව. ඒ ගැන අපිට යමක් කරන්න පුළුවන්ද කියලා සාකච්ඡා කරලා බලන්නත් ලේසියි. එහෙමයි මම හිතන්නේ. අඩුම ගානේ තනි තනියෙන් වලෙන් ගොඩ එන්න උත්සාහ කරනවට වඩා ලේසි වෙයි…”
“මම මුලින්ම කියන්න අදහස් කීපයක් තියෙනවා… මේ සමහර ඒවා ශ්රී ලංකාවේ අයට අලුත් නොවෙන්න පුළුවන්. නමුත් ඒවා නැවත කියන්න තරම් වැදගත්”
“මේ සභාවට ආරාධනය කරලා ඔබලට දැන්වූ වෙලාවේ අපි සාමාජිකයන්ගේ ලයිස්තුවක් එව්වා. ඒ නිසා මේ අය නම් වශයෙන් හඳුන්වාදීලා ඔබගේ කාලය නාස්ති කරන්න මගෙ අදහසක් නෑ. ඒ ලයිස්තුවෙන් පෙනෙනවා අපි ලෝකේ දූපත් කීපයකින් ඇවිත් තියෙන බව. මම රටවල් කියන වචනේ පාවිච්චි නොකර දූපත් කියන වචනේ පාවිච්චි කළේ අපි සේරමගෙ මව් බිම් දූපත් නිසා. බෝගන්විල්, කැනේරි වගේ දූපත් වෙන රටවල් වලින් පාලනය වුනත් ඒ රටවල් තාම තියෙනවා - අපෙ දූපත් නැතිවුනාට. මෙතනින් තව වැදගත් කරණා කීපයක් මතුවෙනවා”
“අපෙ සාමාජිකයෝ කියනවා වෙනුවට ‘දැනට ඉන්න සාමාජිකයෝ’ කිව්වොත් වඩා හරි කියලා මම හිතන්නේ. හේතුව ඔබට තේරෙණවා. අපි සරසවි වලත්, අනික් ස්ථාන වලත් දැන්වීම් ඇලවීම ලඟදී නවත්තන්න අදහසක් නෑ. ඒ අනුව අපෙ සාමාජිකයන් ගණන තව ඉහල යනවාට නිසැකයි”
“අපි මේ සභාව පටන් ගත්තේ ‘ලංකා කවය’ කියලා ශ්රී ලංකාවෙන් ආ කිහිප දෙනෙක් එකතුවෙලා. පටන්ගත්තේ බ්රිස්බන් වලින්. නමුත් දැන් අපිට වෙන වෙන දූපත්වල සමාජිකයෝ ඉන්නවා. සමහරවිට සමහරු කැමතිවෙයි ‘ලංකා කවය’ වගේ තම තමාගෙ කවයන් දියත් කරන්න, සාමාජිකයෝ ගණන වැඩි වෙනකොට. මෙ හේතුව නිසා තමා ඒ අයට සම්පූර්ණ සහයෝගය දෙන්න අපි තීරණයකළේ. අමතක කරන්න එපා - තම තමාගේ විශේෂ සංස්කෘතික ඔනෑ එපාකම් නිසා අලුත් කවයන් දියත් කරත් ඒ අය දිගටම අපේ ‘නැතිවූ දූපත්’ කවයේ සාමාජිකයෝ. ඉඳලා හිටලා ‘ලංකා කවය’ මුණගැහෙනවා වගෙ අනික් කවයන් මුණගැහුනට මම කැමතියි ‘නැතිවූ දූපත්’ කවයේ සභා දිගටම පවත්වන්න, අනික් සාමාජික කවයන්ගේ සහබාගිත්වයත් ඇතුව…”
“මේ ගැන දැනට උත්තරයක් අවශ්ය නෑ. නමුත් ඒ ගැන හිතලා බලන්න වටිනවා… ඔබේ අදහස් සරත් එගොඩවත්තට යැව්වොත් එයා සේරම එක්ක සකච්ඡා කරයි ඒ ගැන…”
“මට තව එක දෙයයි කියන්න තියෙන්නේ, සභාව පළමුව බ්රිස්බන් වලටත් ඉන් පසුව ඇඩිලේඩ් වලටත් බාර දෙන්න ඉස්සර…”
ඒ සැරේ සුරාජ් ටිකක් නිහඬව හිටියා. එයින් සමාජික අවධානය තවත් වැඩි වුනා කියලා මට හිතුනා.
“මට අන්තිමට කියන්න තියෙන්නේ මේකයි… අපෙ උදව්වට ඉන්නේ අපි විතරයි. වෙන කිසි කෙනෙක් අපෙ දූපත් ගැන දන්නෙ නෑ. අපෙ උපන් දූපත් ගැන ඉතිහාසේ කොහෙවත් සඳහන් වෙලා නෑ. ඒ ගැන ටිකක් හිතලා බලන්න වටිනවා. දැන් අපි ඉන්න ඔස්ට්රේලියාවේ ආන්ඩුව වත් අපි ගැන දන්නෙ නෑ! … හිතාගන්න අමාරු නෑ මේකෙන් අපිට ලොකු ප්රශ්න මතුවෙන බව. උදාහරණයක් - අපිට ගමන් බලපත්ර, වීසා එහෙම නෑ. අපි හැඳිනීම් පතක් හැටියට අඩුම ගණනේ රියදුරු බලපත්රයක් වත් අවශ්යමයි… රැකියාවකට, බංකු ගිණුමක් ආරම්භ කිරීමට, ඉස්පිරිතාලෙකට ඇතුල්වෙන්න, ගෙදරක් කුලියට ගන්න… ප්රශ්න සීයයි… මේවට උත්තර සොයාගන්න වෙන්නේ අපිටමයි”
තව සුළු නිහඬකට පස්සේ සුරාජ් කතාකළේ මෘදු හඬකින්.
“ස්තුතියි අහගෙන හිටියට… අපි එකට වැඩකරොත් මේ වලෙන් ගොඩ එන්න බැරිවෙන එකක් නෑ. මගෙ බලාපොරොත්තුව ඒකයි… දැන් මම කැමතියි බ්රිස්බන් වලින් ලලිත්ට ආරාධනා කරන්න තව සිතිවිලි කීපයක් බෙදා හදා ගන්න… ලලිත්?”
මගෙ අදහස් එකතැන් කරගන්න වෙලාව් සාදා ගන්න මම හෙමින් උගුර පෑදුවා.
“ආයුබෝවන්! … ‘ආයුබෝවන්’ කියන වචනේ ලංකාවේ නිතරම පාවිච්චිවුන ආචාර කිරීමක්. ඒකේ තේරුම ඉංග්රීසියෙන් ‘ලෝන්ග් ලයිෆ්’ කියලා හිතාගන්න. අපිට මේ ආචාරය වැදගත්, අපේ දැන් තත්වයත් අපි ඉදිරියේ තියෙන ප්රශ්නත් නිසා…”
“… ඔබේ පවුල් වලින් දැනට ජීවතුන් අතර ඉන්නේ ඔබලා විතරක් වෙන්න පුළුවන්. කොයි තරම් කනගාටුදායක වුනත් මේ සත්ය අමතක කරන්න බෑ. අපිට අනාගතේ මොන ප්රශ්න වලට පිළිතුරු සොයන්න සිද්ධවුනත්, දැන් තත්වය තේරුම් නොගෙන ඒ ප්රශ්න වලට මුහුණ දෙන්න අමාරුයි… මෙ ගැන මට වඩා දක්ෂ ලෙස කතා කරන්න අනික් අයට පුළුවන්… නීලා වගෙ අයට. ඒ නිසා මම ඒ ගැන ආයෙ මොකුත් කියන්නෙ නෑ… මම ඔබ ඉදිරියේ තියන්නේ අපෙ බ්රිස්බන් කට්ටිය, නීලා, මලික් සහ මම, කරපු විග්රහයක ප්රතිඵල… මූලික ප්රතිඵල”
“ගිය ඔක්තෝබර් 29 වෙනිදා උදේ පහට විතර නීලා සොයාගත්තා එයාගෙ ලංකාවේ ලියකියවිලි සියල්ල අතුරුදහන්වී ඇති බව. මුල් අදහසක් හැටියට අපි හිතුවා ලංකාව නැතිවී ගියේ ඊට කිට්ටු වෙලාවක වියහැකියි කියලා. ඒ අදහසම අනුව කිරිබති වලින් ආ මයිකල් සමග සාකච්ඡාවෙන් අපි දැනගත්තා කිරිබති නැතිවී තියෙන්නේ 28 රෑ දහයට විතර - ඒ කියන්නේ ලංකාව නැතිවුනාට පැය හතකට ඉස්සර වෙලා…”
“මේ වෙනසේ වැදගත්කම දැක්කේ කෙලේලයි මයිකලුයි… අපේ දූපත් නැතිවී තියෙන්නේ තමංගෙ දූපතේ රෑ දොලහට. වේලා කලාපය, ටයිම් සෝන්, එක අනුවයි දූපත් අතුරුදහන් වුනේ. කරිබතියි ලංකාවයි අනුව ආපු මේ තීරණය අනික් දූපත් වලටත් අදාලයි වගේ පෙනෙනවා. අපි දැනට දන්න නැතිවී ගිය දූපත් වලින් ඔබ සැපයූ වෙලාවන් අනුව මේකට ප්රතිවිරුද්ධ සාධක ලැබිලා නෑ… ඒ නිසා අපි යෝජනා කරනවා දැනට ‘දූපත් නැතිවුනේ ස්ථානීය වෙලාවෙන් රෑ දොලහට’ කියලා…”
මම කතා නොකර තප්පර කීපයක් හිටියා. ආටෙ කතා කරේ වතුර උගුරක් බීලා.
“අපිට දැනට තියෙන තොරතුරු අනුව දූපත් නැතිවීම ලෝකය වටා එක සැරයක් පමණයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ දූපත් අතුරුදහන් කිරීමට හැකි යම් කිසි ‘බලයක්’ පැය 24ක කාලයක් ක්රමානුකූලව දූපත් අතුරුදහන් කිරීමේ යෙදුනා. හරියට එක තැනකින් පටන්ගෙන ලෝකේ වටේ දූපත් හොරකම් කරමින් ගියා වගේ. මම මේ දූපත් අතුරුදහන් කරන ‘බලයක්’ කිව්වේ ඒ මොකද්ද නොදන්න නිසා. දැනට අපි ඒකට බලයක් කියලා කියමු… අනික් වැදගත් දේ… අතුරුදහන් වෙලා තියෙන්නේ දූපත් සුළු ගණනක්. අපේ දූපත් අපිට වැදගත් වුනාට අතුරුදහන් වෙලා තියෙන්නේ ලෝකේ දූපත් වලින් දාහෙන් එකකටත් අඩුයි, මං හිතන්නේ…”
“මෙයින් වැදගත් ප්රශ්න දෙකක් ඉස්සරහට එනවා. තව ප්රශ්න ගොඩක් තියෙන බව ඇත්ත නමුත් මේ දෙක ගැන හිතලා බලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා…”
“එක - පැය 24න් සිද්ධ වූ විපත්තිය එතනින් ඉවරද? ඒ කියන්නේ, අනාගතේ ආයෙත් මෙහෙම ලෝකේ වටේ දූපත් හොරකමක් වෙයිද?”
“දෙක - මොන කාරණා මතද නැතිවීගිය දූපත් අනික් දූපත් වලින් වෙන්කොට හඳුනා ගත්තේ? එ කියන්නේ, ඇයි බෝගන්විල් නැතිවෙලා ටැස්මේනියාව නැතිවුනේ නැත්තේ?”
“මම ආයෙ මොකුත් කියන්න අදහස් කරන්නෙ නෑ දැනට. මම කැමතී ඔබලා සේරම මේ ප්රශ්න ගැන හිතලා බලලා ඔබේ අදහස් අපිත් එක්ක බෙදා හදා ගන්න කියලා… සුරාජ් කිව්ව වගේ… වෙල්කම් එව්රිබොඩි!... තැන්ක්යූ! සුරාජ්?”
…………………………………….
“අයියට මේ සෙනසුරාදා ගෙදර එන්ට පුළුවන්ද?”
බ්රහස්පතින්දා හවස නංගිගෙන් මට ටෙලිෆෝන් කෝල් එක ආවේ කන්තෝරුට.
“ඇයි විශේෂ කාරණයක්ද?”
මම එහෙම ඇහුවේ පහුගිය සති අන්තයෙත් ගෙදර ගිය නිසා.
“මහින්ද එයි හවස තේ වලට… අයියත් හිටියොත් හොඳයි. මල්ලිත් එයි…”
සාමාන්යෙන් අපෙ ගම් පලාත්වල මනමාලයගෙ දෙමව්පියෝ හරි කවුරු හරි වැඩිහිටි නෑදෑයෝ හරි ‘ගෙදර දොර බලන්ට’ මනමාලිගෙ ගෙදර එන්න ඉස්සර මනමාලයා තනියම එහෙම එන්නෙ නෑ. ඒකට අම්මා මොනවා කියයිද? අපි සේරම මහින්ද ගැන දැනගෙන හිටියත් සමහරවිට ගමේ අය හිතන හැටි අම්මට තවම වැදගත් ඇති.
“මේක අපෙ සිරිත් විරිත් වල හැටියට නෙවෙයි නේද? අම්මා ඒ ගැන මොකද කියන්නේ?”
නංගී හිනාවුනා - සතුටු හිනාවක්.
“අම්මා කිව්වේ… ‘චුට්ටිගෙ වචනෙන් කිව්වොත් සිරිත් විරිත් වලට බම්බු ගහගන්ට කියමු දුව’… කියලා. ඒකත් කිව්වේ හිනාවෙවී”
මටත් හිනා ගියා.
“මොනවත් ගේන්න ඕනද?”
“නෑ… මල්ලී සිකුරාදා නුවර එයි, අයියත් එක්ක හොඳට බීර බීලා සෙනසුරාදා එකට ගමේ එන්ට!”
“කට වහපන් කෙල්ල!”
නංගී කිව්වා වගේම මල්ලී රෑ හතට විතර මගෙ නවාතැනට ආවා. මම කලින්ම බීර ටිකකුත් කෑමත් ගෙනත් තිබුන නිසා අපි රෑ නවාතැනෙන් එලියට ගියේ නෑ. රෑ කතාවේ මුල් මාතෘකාව මහින්ද සම්බන්ධවයි.
………………………………..
මල්ලිගේ අවවාදය අනුව අපි රසකැවිලි ටිකකුත් පොදි බැඳගෙනයි උදේ ගමේ ගියේ. මහින්දගෙ පැමිනීම ගැන සාකච්ඡාව පටන්ගන්න ඉස්සර මට අලුත් ආරංචියක් ලැබුනේ අම්මගෙන්.
“අන්න ලොක්කට ලියුමක් තියෙනවා”
අම්මා කිව්වේ මට තේ කෝප්පයක් දෙන ගමන්.
“කවුද අප්පා මට ලියුම් ලියන්නේ?”
“පිට රටින්… පරණ යාළුවෙක් වෙන්ට ඇති”
ඇත්තම ලියුම මගෙ බ්රිස්බන් වල හිටපු හොඳම යාළුවාගෙන් - පීටර් ග්රීන්ගෙන්. මම වහාම මිනිහගෙ කෙටි ලියුම කියෙව්වා.
නත්තල් සුභපැතුම් පරක්කුවුනාට සමාවෙන්න. කොහොමද ආපහු ශ්රී ලංකා ජීවිතේ? දැන් ආයෙ පරණ විදිහට ඉන්නවද නැත්නම් යාන්තමට ඔස්ට්රේලියානු විදිහටද ජීවිතේ? ඒක මටත් ලඟදී බලාගන්න පුළුවන්!
මම තව සති කීපෙකින් එංගලන්තේ මැන්චෙස්ටර් යුනිවසිටි යනවා රිසර්ච් වැඩකට. ඊලඟ අවුරුදු තුන එහෙ. මං හිතුවේ යන ගමන් ලංකාවට ඇවිත් සතියක් විතර ඉඳලා යන්න. ලලිතුත් හම්බවුනොත් නියමයි. මම විස්තර පස්සේ එවන්නම් (මේකට උත්තරයක් ලැබුනොත්!). මේ ඇඩ්රස් එක විතරයි මා ලඟ තිබුනේ.
ආවොත් එන්නේ මම විතරයි. සූ කෙලින්ම රෙඩිං යනවා එයාගෙ නෑදෑ කට්ටියක් බලන්න.
උත්තරයක් එව්වොත් හොඳයි. ටෙලිෆෝන් නොම්බරයක් තියෙනවානම් වඩාත් හොඳයි.
බායි - පීටර්
මගෙ පවුලේ කටයුතු වලින් හිස පුරවාගෙන හිටපු මට පීටර්ගෙ ලියුම එක් විදිහක සහනයක්. යම් දවසක් පීටර්ට ලංකාව පෙන්වන්න ආශාවෙන් හිටි මට මේක හොඳම අවස්ථාවක්. මාත් යන්න ආශාවෙන් හිටි තැන් වලට ගිහින් එන්නත් කදිම අවසරයක්! පීටර්ට රටතොට පමණක් නෙවෙයි මගෙ පවුලේ අයත්, ගමත්, රස්සාවත්, පේරාදෙනියේ සරසවියත්, පොලොන්නරුවත්…
මම මගේ සිහිනෙන් ගොඩ ආවේ පවුලේ අයගේ හිනාව ඇහිලා.